Saturday, October 3, 2009

දිසාපතිඳුට ආයාචනයක්

දිසා කරවන දිසාපතිඳුනි, අසන් මේ බස යොමා සවනත
වැව් තලාවම ඉරිතැළී ඇත, දුක් දෙවයි ගොවියනගෙ ගත සිත
උදලූ තල රළු පොළොව වැදුණ ද
බොල් හඬක් නැත ඒ පොළොව මත
තුමනි ගරුතර, ලබා දෙනු මැන
සහනයක් දුක් විඳින අප වෙත

විසල් මේකුළු වලා පාවෙත
නොදේ වැහි පල දැවුණු පොළොවට
යල මහේ වී කුඹුරු පාළුව අටුව හිස් විය නොසිතු විදියට
දිවා රැය අප පහන් කළමුත් වැහි වලාවක් නොමැත දකිනට
දරු පැටවු බඩ සයින් පෙළෙමින්
සිටින සැටි නොහැකිය බලන්නට

ඉහළ වැව් කොටුවෙන් නොමැත පෙර ලෙස
ගලන්නේ අද රිදී ජල කඳ
සාර කෙත් වතු දැවී වියළී ඉපනැල්ල සෑදී තිබෙන සඳ
හෙළන මුත් දහඩිය කඳුළු බිඳු
නොවේ සැනසුම් මගක් කොහි වෙද
ගගන සරනා කුරුල්ලන්ගෙන්
ඇසේ ශෝකී ගීය තතු ලෙද

නෙතින් ඔබතුම බලා මෙපුවත කුලූණු මෙත පතුරා සැනේ
නියං සායෙන් පෙළෙන දන හට පිහිට වනු මැන විගසිනේ
වැහි වටක් ගොස් වාන් උතුරා පොළොව තෙත් වූ විගසිනේ
රන් වියෙන් පිරි කුරුණි ගණනින් දැයට දෙන්නෙමු මතු දිනේ

Thursday, September 24, 2009

හිම බිමේ උණුසුම

තුෂාරය කැටි ගැසී තුරුලතා සුදුවතින් සැරසි ඇති
හිම අතුළ බිමක මා තනිවෙලා සිටින සඳ
සීතලෙන් හිරිවැටී සියොලඟම දැවෙන හද
මා උපන් මවුබිමේ උණුසුමක් ඇත නිබඳ

අඳුර පිරි උදෑසන දෙව් මැදුරෙ සීනු හඬ
සැණින් සවනට නනැගේ පන්සලේ ඝණ්ටාව
හිරු සැඟව ගිය අඳුරු අහස් කුස දුටු විගස
උපන් බිම සිහිවේය හිරු රැසින් බබළනා

මධුවිතින් බමන වූ විකල් වූ සිනහ මැද වැලඳ
ගෙන කොමළතින් සංගීත රිද්මයට
ඔවුනොවුන් නෙක් වෙසින් රඟන සැටි දුටු සැණින
සිත් විලෙහි මා පියඹ නිබඳවම සරණේය

ඉසුරු පිරි දේශයක නේක සම්පත් අතර
කෙසේ දක්නෙම් ද මා හද බැඳුණු උණුසුමක්
අසෝකා මල් පිපුණු මා වසන ගෙවුයනේ
අසිරිමත් පේ‍්‍රමයක උණුසුමක් ඇත සැඟව

Sunday, September 20, 2009

කාල සර්පයා

ඇදහිය නොහැකිය තවමත්
සැට වස් ඉක්ම වු වග මට
පාසැල වෙත යමි තවමත්
පාසල් දරුවකු විලසින

‘සැළලිහිණියෙ’ කවි කියවමි
‘සිරිපාදෙ’ගී ගයනෙමි
කථික තරගයේ මුල් තැන
දිනා ගනිමි තවමත් මම

ලැබ සරසවි වරම් සොඳින
ලියනෙමි සටහන් නිබන්ධ
පංති ස්ට‍්‍රයික් කරනෙමි
සරසවි සිසුවකු පරිදිම

සැළමුතු පේ‍්‍රමෙන් උමතුව
තුරුලට ගෙන ‘රූපිකා’ව
පුස්තකාලෙ ගල් බංකුවෙ
වැතිරෙමි පෙම්වතකු විලස

ජය මංගල ගී හඬ මැද
පෝරු මස්තකාරූඩව
දෙඅත් රන් හුයෙන් පටලා
සිටිනෙමි පති පතිනි විලස

අතීතයේ සොඳුරු මතක
මැකී නොයයි කිසි දවසක
නොදැනිම දිව ගොස් ඇත්තේ
කාල සර්පයා පමණකි.

Saturday, September 12, 2009

ගෙවුයනක ගීතයක්

කොළ හැලී නග්න වූ තුරු ලතා
වැහිබර වු අඳුරු අහස් කුස
හිරු නොදුටු සඳ ගිලූණු වලා පෙළ
සීතලෙන් හිරිවැටී ගිය සිතක
නන් විරූ සිහින මායා බොඳව
නිරන්තර හඹා යයි
මා උපන් මා වසන ගෙවුයනට
අසෝකා මල්වලින් සුපුෂ්පිත

අති රමණී ‘බෲග්’ ඉපැරණි පුරෙහි
හිම කබා අත් මේස් පැළඳි දන
සරති ඔබ මොබ අසුන් බැඳි රියෙන්
විවිධ හැඩ රුවින් යුතු රථවලින්
මහා රැ තිත්ත කළුවර මැදෙහි
ඇසේ නෙක ගායනා වාදනා සිනා හඬ
සිනාවෙන් පිරී ගිය දෙකොපුල්ව
පෑවුවද මන්දස්මිත රූ ළඳුන්
නොසිතේය පාන්නට ප‍්‍රතිචාර
අසෝකා මල් පිපී ඇති සිතෙක

සියලූ නෙක් සම්පතින් පිරි රටක
නේක මල් පිපී ඇති ගෙවුයනක
හුදෙකලා පාළුවේ වැතිරි සඳ
සිත් යහන් ගැබෙහි ඇය සැඟවිලා
මතුව එයි අබරණින් සැරසි ගෙන
දුරු රටක සීතලෙන් ගැහෙන හද
ඉකි බිඳී නිරන්තර ශෝකයෙන්
අසෝකා මල් නොමැති උයනෙ හිඳ

විද්‍යාඥයෙකුගේ බිරිඳක් කී කවියක්

විදුලි බුබුළු වීදුරු නළ සිලින්ඩර
නන් පැහැ ගත් විදුලි කම්බි අතරෙහි හිඳ
බුද්ධිය දරදඬු කොට දාගෙන ඔබ
විදු නැණයෙන් සඳ තරණය කරනට

සබඳ ඔබේ විසල් බුද්ධියේ පහුරෙන්
මිනිසෙකු හඳ මත පාද තැබුව ද
නොහැක ඔබේ විදු නැණයේ බලයෙන්
හද තරණය කර ජයක් ලබන්නට

නිළිය හා පේ‍්‍රක්‍ෂකයා

පේ‍්‍රක්‍ෂකාගාරය දැඩි නිහැඬියාවෙන්
අබිසරු නිළිය වෙත දෙනෙත් හෙළා ඇත
කටාක්ෂ නිරීක්‍ෂණයෙන් ඈ බලන සඳ
පේ‍්‍රක්‍ෂකයන් ඈ වැළඳ ගනී.

ඇගේ
රඟපෑම් විශිෂ්ට යැයි එකෙක් කීහ
සියුමැලි යුවතියක වූ
ඇගේ රඟ පෑම්
මා සිත සසල කරවී

ඈට ප‍්‍රසාදය පළ කරනු සඳහා
මා නේපථ්‍යාගාරයට යන විට
ඇගේ තන පුඩුවක්
බිලිඳකු විසින්
උරනු දුටිමි.

ඈ දක්‍ෂ නිළියක් නොවේයැයි
මට හදිසියේ
සිතිණ.

Friday, September 11, 2009

ප‍්‍රශ්නයක්

උපැස් යුවළක් පැලඳ විදුලි පංකා සිසිල විඳිමින්
ගැමි දනන් නන් ගැටලූ විසඳයි ඔබ අත්සනින්
ලිපි ගොනුව අතින් අත ගියත් විදුලිය සැණින්
කිම පලක් නොලැබෙනුයෙ වතුර ගැන පෙත්සමින්