Thursday, September 24, 2009

හිම බිමේ උණුසුම

තුෂාරය කැටි ගැසී තුරුලතා සුදුවතින් සැරසි ඇති
හිම අතුළ බිමක මා තනිවෙලා සිටින සඳ
සීතලෙන් හිරිවැටී සියොලඟම දැවෙන හද
මා උපන් මවුබිමේ උණුසුමක් ඇත නිබඳ

අඳුර පිරි උදෑසන දෙව් මැදුරෙ සීනු හඬ
සැණින් සවනට නනැගේ පන්සලේ ඝණ්ටාව
හිරු සැඟව ගිය අඳුරු අහස් කුස දුටු විගස
උපන් බිම සිහිවේය හිරු රැසින් බබළනා

මධුවිතින් බමන වූ විකල් වූ සිනහ මැද වැලඳ
ගෙන කොමළතින් සංගීත රිද්මයට
ඔවුනොවුන් නෙක් වෙසින් රඟන සැටි දුටු සැණින
සිත් විලෙහි මා පියඹ නිබඳවම සරණේය

ඉසුරු පිරි දේශයක නේක සම්පත් අතර
කෙසේ දක්නෙම් ද මා හද බැඳුණු උණුසුමක්
අසෝකා මල් පිපුණු මා වසන ගෙවුයනේ
අසිරිමත් පේ‍්‍රමයක උණුසුමක් ඇත සැඟව

Sunday, September 20, 2009

කාල සර්පයා

ඇදහිය නොහැකිය තවමත්
සැට වස් ඉක්ම වු වග මට
පාසැල වෙත යමි තවමත්
පාසල් දරුවකු විලසින

‘සැළලිහිණියෙ’ කවි කියවමි
‘සිරිපාදෙ’ගී ගයනෙමි
කථික තරගයේ මුල් තැන
දිනා ගනිමි තවමත් මම

ලැබ සරසවි වරම් සොඳින
ලියනෙමි සටහන් නිබන්ධ
පංති ස්ට‍්‍රයික් කරනෙමි
සරසවි සිසුවකු පරිදිම

සැළමුතු පේ‍්‍රමෙන් උමතුව
තුරුලට ගෙන ‘රූපිකා’ව
පුස්තකාලෙ ගල් බංකුවෙ
වැතිරෙමි පෙම්වතකු විලස

ජය මංගල ගී හඬ මැද
පෝරු මස්තකාරූඩව
දෙඅත් රන් හුයෙන් පටලා
සිටිනෙමි පති පතිනි විලස

අතීතයේ සොඳුරු මතක
මැකී නොයයි කිසි දවසක
නොදැනිම දිව ගොස් ඇත්තේ
කාල සර්පයා පමණකි.

Saturday, September 12, 2009

ගෙවුයනක ගීතයක්

කොළ හැලී නග්න වූ තුරු ලතා
වැහිබර වු අඳුරු අහස් කුස
හිරු නොදුටු සඳ ගිලූණු වලා පෙළ
සීතලෙන් හිරිවැටී ගිය සිතක
නන් විරූ සිහින මායා බොඳව
නිරන්තර හඹා යයි
මා උපන් මා වසන ගෙවුයනට
අසෝකා මල්වලින් සුපුෂ්පිත

අති රමණී ‘බෲග්’ ඉපැරණි පුරෙහි
හිම කබා අත් මේස් පැළඳි දන
සරති ඔබ මොබ අසුන් බැඳි රියෙන්
විවිධ හැඩ රුවින් යුතු රථවලින්
මහා රැ තිත්ත කළුවර මැදෙහි
ඇසේ නෙක ගායනා වාදනා සිනා හඬ
සිනාවෙන් පිරී ගිය දෙකොපුල්ව
පෑවුවද මන්දස්මිත රූ ළඳුන්
නොසිතේය පාන්නට ප‍්‍රතිචාර
අසෝකා මල් පිපී ඇති සිතෙක

සියලූ නෙක් සම්පතින් පිරි රටක
නේක මල් පිපී ඇති ගෙවුයනක
හුදෙකලා පාළුවේ වැතිරි සඳ
සිත් යහන් ගැබෙහි ඇය සැඟවිලා
මතුව එයි අබරණින් සැරසි ගෙන
දුරු රටක සීතලෙන් ගැහෙන හද
ඉකි බිඳී නිරන්තර ශෝකයෙන්
අසෝකා මල් නොමැති උයනෙ හිඳ

විද්‍යාඥයෙකුගේ බිරිඳක් කී කවියක්

විදුලි බුබුළු වීදුරු නළ සිලින්ඩර
නන් පැහැ ගත් විදුලි කම්බි අතරෙහි හිඳ
බුද්ධිය දරදඬු කොට දාගෙන ඔබ
විදු නැණයෙන් සඳ තරණය කරනට

සබඳ ඔබේ විසල් බුද්ධියේ පහුරෙන්
මිනිසෙකු හඳ මත පාද තැබුව ද
නොහැක ඔබේ විදු නැණයේ බලයෙන්
හද තරණය කර ජයක් ලබන්නට

නිළිය හා පේ‍්‍රක්‍ෂකයා

පේ‍්‍රක්‍ෂකාගාරය දැඩි නිහැඬියාවෙන්
අබිසරු නිළිය වෙත දෙනෙත් හෙළා ඇත
කටාක්ෂ නිරීක්‍ෂණයෙන් ඈ බලන සඳ
පේ‍්‍රක්‍ෂකයන් ඈ වැළඳ ගනී.

ඇගේ
රඟපෑම් විශිෂ්ට යැයි එකෙක් කීහ
සියුමැලි යුවතියක වූ
ඇගේ රඟ පෑම්
මා සිත සසල කරවී

ඈට ප‍්‍රසාදය පළ කරනු සඳහා
මා නේපථ්‍යාගාරයට යන විට
ඇගේ තන පුඩුවක්
බිලිඳකු විසින්
උරනු දුටිමි.

ඈ දක්‍ෂ නිළියක් නොවේයැයි
මට හදිසියේ
සිතිණ.

Friday, September 11, 2009

ප‍්‍රශ්නයක්

උපැස් යුවළක් පැලඳ විදුලි පංකා සිසිල විඳිමින්
ගැමි දනන් නන් ගැටලූ විසඳයි ඔබ අත්සනින්
ලිපි ගොනුව අතින් අත ගියත් විදුලිය සැණින්
කිම පලක් නොලැබෙනුයෙ වතුර ගැන පෙත්සමින්

ඔබ ගැන

අනන්තයට යොමු වූ ඇස් ඇති
නීල නුවන් ඇති යුවතිය
ඔබ දැක්මෙන් මා හද සනහාලයි
අඬන්ට තැතනූ වලා ඇදී ගොස්

ඔබ ගෙන ඒ මට ආදර ස්නේහය
මම ලැබුවෙමි ඔබගෙන් ජීවය
කල්ප ගවු ගණන් ගෙවී ගියද ලොව
මතකයෙ තුරුලෙන් ඔබ නොම ගිලිහේ

මලානිකව ගිය දෑසින් යුතු මම
සප‍්‍රාණික වී ලෝකය ඉදිරියෙ
ජීවය ලැබු ප‍්‍රාණියෙකු විලාසෙන්
නැඟී සිටියේ ඔබගේ උරයෙනි

ඔබගේ බැති කුසුමින් පිබිදී
අලූත් බවක් හදවතෙහි වගාකොට
සුසුදු ලෝකයක් අල්ලාගන්නට
මහ අඩි තබමින් ඉදිරිය වෙත යමි

බලාපොරොත්තුව සිතෙහි දරා ගෙන
දිවගිය මුත් නව ලොවක් සොයාගෙන
සම්ප‍්‍රදායයේ කටුමැටි බිත්තිය
කොටු කර ඇත හිරු සඳු නොනඟිනසේ

වැල් පාලමේ දී ලියූ කවි තුනක්

මාස ගණනකට ඉස්සර
ඉදිමිලා ගලාගිය ඔබ
කෙෙඬිරි වී වේළිලා ගලන්නේ
හරියට ආදරය වගේ

වැලි පෑදී කෙඳිරි ගගා
සෝබර වූ සිහින් සරෙන්
ඔබ අද දින ගලා ගියද
ටික දිනකින් පිරිපුන් වේ

ඈත පේන හන්තානේ
කඳු ගැට මත
විසල් මැඳුරු බිහි වී ඇත
මැඳුරේ දොර කාමරවල
පුංචි විමන් ඉදි වී ඇත
ආදර පව්වක් වාගේ

ආත්මානුකම්පාව

ලෙඩ ඇඳක තනිවෙලා සිටින විට
සාංකාවෙන් පෙළෙන මගේ සිත
මරණයේ අඳුරු බිය රැගෙන විත්
නන් විරූ සිහින සිත්තම් කරයි

පෙර දවස ලෙඩ ඇඳක නිඳන කල
මා වටා දැවටෙමින් සිටින්නී
මල්ජිනී නොමැත මා ගව් දුරක
ඈ සිටී ගැබ්බරව රෝහලක
ඔහු සිටිනු ඇත ඇගේ තනිකමට

හිත මිතුරු නෑසියන් මගේ ගුණ වනන්නන්
අද නොමැත අබියසක ස්නේහයක් ඇතිව ළැම
ජීවිතේ හරි අඩක් තනිව දිවි ගෙවුණු කල
ඉතිරි අඩ ගෙවන්නට තනිකමක් දැනේවිද ..?

වෙනසක්

එකම දිනේ අපි දෙදෙනා සරසවියට ඇතුල් වුණෙමු
එකම විෂය සිව් වසරක් එකටම අපි හැදෑරුවෙමු
එකම දිනේ අපි දෙදෙනා බැංකුවකට ඇතුල් වුණෙමු
ඉහළින් හිඳ ඔබ දෙන අණ දුන් සැණෙකින් ඉටු කරනෙමි

සරසවියේ නිවාඩුවක්

ගලින් නෙලූ සිංහ රූප බැලූ බැලූ අත බලා හිඳී
සෙනෙට් සභා ගල් කණු පෙළ සාංකාවෙ ගිමන් හරී

දොරටුපාල රූප සිටී රකින්න කිසිවක් නොමැතිව
පුස්තකාලෙ දොරටුව ළඟ ගල් බංකුව නිඳා සිටී
කලාගාරෙ ගල් පඩිපෙළ වැතිරීගෙන විඩා නිවයි

මහවැලි ගං ඉවුර සිටී උණුසුම් හාදුවක් නැතිව
හිල්ඩා උයනේ නෙක් මල් මැලවී ඇත කාන්සියේ
සොල්දාදුවා සහ විජිතයපේරාදෙණිය

Thursday, September 10, 2009

පෝරුව මත නගිනා සඳ

ඔහු ඉදිරියේ ඈ සිටිද්දී
නීල චන්දන දෙඇස් බර කර
දෙවඟනක සේ
මම ගියා සාලය හරහා
බිමට බරවුණු දෑසින්
හදවතේ කළු ගලක් ඔසවා
ඈ නොවේ බැලූවේ මා දිහා
මතක අතීතේ තිර රෙදි පොට අතරින්
ඈ පෙනේ මැවෙමින් මැකෙමින්
මීදුම් අතරින්
කළුවර පීරාගෙන
ඇදුණු පියමන්
රජවත්ත දිගේ දිගින් දිගට ...

‘හිල්ඩා කුමරියගේ ගැටෙන රසමුසු හැඟුම්
හා ඔබට එක්වන්ට කරයි ආරාධනා’
හැටහයේ මැදින් මාසේ ඔබ දුන් ඒ ඇරියුම් පත
අදි මදි කරමින් පිළිගෙන
හිල්ඩා මල් උයන දිගේ
සීතලේ ඔබ සොයා
මම ටයිකෝට් ඇඳ ආ වේලේ
ඔබ හිටියා අප්සරාවක් වගේ
හරියට අද වාගෙම

පාට පාට විදුලි බුබුළු
නෙක් නෙක් විලාසිතා අතර
ඔබත් මාත්
ඒ මේ අත පාවුණු හැටි
සංගීතය රිදුම් දෙද්දි
මත් වුණු පේ‍්‍රමය නිසා

‘ලේඩි විත් ද ලිට්ල් ඩෝග්’
බලන්ඩ
කලාගාරයට ඈ ඉස්සර ආවෙ
මාව හොයාගෙන
තිත්ත කරුවලේ ගුරෝෆ්, ආන්නාට පෙම් බඳිනා සඳ
ඈ සිටියේ මා උණුසුම අස්සේ
අඩක් නිවුණු දෑස් ඇතිව
තුරුලූව පුංචි පූසියක් වගේ

පන්දාහක් දනෝ අසුන් ගෙන සිටිද්දී
ආලෝකය අඳුරට හරවන විට
පේ‍්‍රමයෙන් රංජිත වූ මනසින්
ඔබ ආවා මාව සොයා
ගල් පඩිපෙළ බැහැගෙන
මනමේ කුමරිය වාගේ

ඔබ ඔහු අත ගෙන
ගොක්කොළ රැල්ලෙන් සැරැසුණු
නැකතට පෝරුව මත නගිනා මද්දහනේ
ඔබ ළඟ සිටියේ ඔහුයි සිතනවද ...?
නැත, මම වෙමි.

දිගැති රථයේ පිටුපස අසුනේ
වේල් එකෙන් ඔබ මූණ වසාගෙන
ඇදී යද්දි ආසිරි මල් වැස්සේ
ඔහුගේ උණුසුම ඔබට දැනෙනවද ...?

මගේ සුසුම් අහසේ පා වෙද්දී
තීරු තීරුවලට ඉරා
විසිරෙව්වේආදරයේ කැබලි නේද ...?

සොල්දාදුවා සහ විජිතය

කාලයේ වාලූකාවෙන් වැසුණු
වට රවුම් රතුපාට ඔබෙ මුහුණ
සත්රුවන් කඩතුරාවෙන් පැමිණ
මා දෑස් අබියසෙහි තටු සලයි

පාළුවේ සීතලෙන් හිරිවැටුණු මගේ සිත
ආදරේ උණුසුමින් කිතිකවා
සැනසුමේ සිසිලසෙහි මග තැනූ
කිම ඔබේ කිසි බසක් නොනැගන්නෙ ...?

ඈත පොල් රුප්පාව මැද තිබෙන
රට උළු සෙවිලි කළ ඔබෙ නිවෙස
පිටුපසෙහි කණින ලද ලොකු ළිඳෙහි
ඔබ-මගේ ඡයාව රැඳී ඇත

පිළිකන්නෙ පඩිය මත බේසමෙහි
මුව දොවා මුහුණ බැලූ කැඩපතෙහි
පස් වසක් මා පැමිණ නැති නමුදු
මගේ රුව පෙනෙනු ඇත බැලූ විටදි

කාලයේ අසු පිටින් දහස් ගව් මග ගෙවා
දෑත් දිගුකර ගන්න ඔබ සොයා පැමිණියද
මල් කලඹ අතට ගෙන තව එකෙකු හා බැඳී
කිකිණි පා ඔබ සිටී සාලෙ මැද සේයාරුවෙහි

කුරිරු යුදයට පිවිස ධනු ශිල්ප විකුම් පා
ළෙහි හොවා දැය කෙරේ උපන් අභිමානයෙන්
සටන් වැද ජය නගා පැමිණි කල හිමිවන්නෙ
කුමරි ඔබ නොමැති හිස් විජිතය ද?

කවිය

කවිය
කවියක් ලියන්නැයි
ඔබ මට
කොතෙක් කීවත්
කවියක්
ලියන්නට නොහැක
කවියක්
ඉබේ බිහිවෙනවා මිස

කවිය
හදවතේ කොනක
පිළිසිඳ
ඖචිත්‍යයෙන්
ඔපවී
උපමා රූපකවලින්
හැඩගැන්වී
රමණීය බසින්
මටසිලූටු වී
ගැබ්ගෙන
විලි රුදා මැද
ප‍්‍රසූත වෙයි.

ඒ කවිය
හෘදයංගමව
අප අමතන විට
ජීවිතය
විනිවිද දකියි
කාන්තාවක සේ
උපදෙස් දෙයි

කවිය තනිකමට
අප සමග
ගමන් යයි
හුදෙකලාවට
අපිට
තනි රකියි
කවිය
අපේ සමීප
මිතුරාය

කවිය
කවියමයි
කවියා
කවියාමයි

සතුට සහ දුක

වැවට උඩින් වැව් ළිහිණියො රංචු ගැසී ඉගිලෙනවා
නිල් අහසක් පැහැදිලි වී සන් එළියක් පතුරනවා
‘බේලිය’ කඳු මතින් වැතිර වැහි කළුවක් මුදුන් වෙනව
ගමේ වැවේ සොරොව් දොරට ලෑලි නැතිව දෝර යනව

වැව හදන්න ආංඩුවේ මහත්තුරුන් නිතර එනව
සිතියම් පොත් පෙරළාගෙන මොනවද ලකුණක් කරනව
මාස් කන්න වැහි වැහැලා වැව උතුරා වාන් යනව
වැව හදන්න ආංඩුවේ මහත්තුරුන් නිතර එනව

විල්තෙර හිද ලියූ කවි - උදේනි සරත්චන්ද්‍ර කාව්‍ය නිර්මාණ අඩවිය අද ඇරඹිණ.