Saturday, September 12, 2009

ගෙවුයනක ගීතයක්

කොළ හැලී නග්න වූ තුරු ලතා
වැහිබර වු අඳුරු අහස් කුස
හිරු නොදුටු සඳ ගිලූණු වලා පෙළ
සීතලෙන් හිරිවැටී ගිය සිතක
නන් විරූ සිහින මායා බොඳව
නිරන්තර හඹා යයි
මා උපන් මා වසන ගෙවුයනට
අසෝකා මල්වලින් සුපුෂ්පිත

අති රමණී ‘බෲග්’ ඉපැරණි පුරෙහි
හිම කබා අත් මේස් පැළඳි දන
සරති ඔබ මොබ අසුන් බැඳි රියෙන්
විවිධ හැඩ රුවින් යුතු රථවලින්
මහා රැ තිත්ත කළුවර මැදෙහි
ඇසේ නෙක ගායනා වාදනා සිනා හඬ
සිනාවෙන් පිරී ගිය දෙකොපුල්ව
පෑවුවද මන්දස්මිත රූ ළඳුන්
නොසිතේය පාන්නට ප‍්‍රතිචාර
අසෝකා මල් පිපී ඇති සිතෙක

සියලූ නෙක් සම්පතින් පිරි රටක
නේක මල් පිපී ඇති ගෙවුයනක
හුදෙකලා පාළුවේ වැතිරි සඳ
සිත් යහන් ගැබෙහි ඇය සැඟවිලා
මතුව එයි අබරණින් සැරසි ගෙන
දුරු රටක සීතලෙන් ගැහෙන හද
ඉකි බිඳී නිරන්තර ශෝකයෙන්
අසෝකා මල් නොමැති උයනෙ හිඳ

1 comment:

  1. අසෝකා මල් පිපුණු හදකට
    අසෝකා මල් නොදැක ඉනු බැරි
    අසෝකා මල් නොමැති සෝකය
    අසෝකා මල මය නැසිය යුතු

    විරහ දුක කවියක පිපී ඇත
    මිදෙන හිම විරහව වඩා ඇත
    දුරු රටක සිහිතලට ගුලි වී
    කෙසේනම් කවි සිත නිදා විද?

    ReplyDelete